Friday, November 18, 2016

මොකක්ද මේ තයිරොයිඩ් හෝර්මෝන පරීක්ෂාව



මිනිසාට බහුලවම ඇතිවිය හැකි හොර්මෝන රෝග අතර ඉතා සුලභ රෝගී තත්ත්වයක් (දියවැඩියාව හැරුණු කොට) තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග පිළිබව හුන්වා දිය හැක. මෙම රෝග ඇතැම් විටෙක රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථා මෙන්ම පෙන්නුම් නොකෙරෙන අවස්ථා ද තිබේ. ඒ නිසා තයිරොයිඩ් හෝර්මෝන පරීක්ෂාව සිදුකිරීම (Thyroid Function Test)  ඉතා වැදගත් වේ.

තයිරොයිඩ් ආශ්‍රිත රෝග අතරින් ද ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගැනෙන්නේ Underactive thyroid හෙවත් තයිරොයිඩ් ග්‍රනිථියේ ක්‍රියාකාරිත්වය අඩුවීමයි. මෙහි රෝග ලක්ෂණ ගණනාවකි. ඒ අතර අලස බව, මහන්සිය, අත් පා ඇඟිලි ඉදිමීම, මාංශ පේෂි වල ඇතිවන වේදනාව ආදිය බහුලව දක්නට ලැබෙන නමුත් ඇතැම් අවස්ථා වලදී ඉතා සුළු රෝග ලක්ෂණ පමණක් දක්නට ලැබෙන අවස්ථා ද තිබේ. විශේෂයෙන් කාන්තාවන් අතර මෙම රෝගී තත්ත්වය බහුලවම දැකිය හැකිය. ඒ නිසා ඔවුන්ට මුහුණදීමට සිදුවන රෝග ලක්ෂණ ලෙස ආර්තව චක්‍රෙය් අක්‍රමවත් බව, අධික රුධිර වහනය, සඵලතාව අඩුවීම, උදාසීන බව මෙන්ම ශරීරය ස්ථුල වීම ආදිය හඳුනාගත හැකිය.

තයිරොයිඩ් හෝර්මෝනය ප්‍රමාණයට වඩා වැඩිවීම එතරම් දකින්නට නොලැබුනත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුවෙයි. එහි රෝග ලක්ෂණ පවා පැහැදිලිව හඳුනාගත නොහැකි වේ. නමුත් යම් ලෙසකින් තයිරොයිඩ් හෝර්මෝන මට්ටම වැඩිවීමේදී දැකගතහැකි රෝග ලක්ෂණ වන්නේ ශරීරය කෙට්ටුවීම, අධිකව දහඩිය දැමීම, හෘද ස්පන්දනය වැඩිවීම ආදියයි.



තවද කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වුවත් මද වශයෙන් තයිරොක්සීන් හෝර්මෝනය අඩුවීම හෝ වැඩි වීම ද (sub – clinical thyroid dysfunction) ප්‍රතිකාර කළයුතු රෝගී තත්ත්වයකි. ගෙල ඉදිරිපසට වන්නට තිබෙන තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම, උගුර ගෙල ආශ්‍රිතව වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුව මෙන්ම  පවුලේ තයිරොක්සීන් ආශ්‍රිත ගැටළු තිබෙන අය තයිරොයිඩ් හෝර්මෝන ආශ්‍රිත පරීක්ෂණ සිදුකිරීම වැදගත් වේ.

අයඩීන් ඌණතාව නිසා තයිරොයිඩ් හෝර්මොනය අඩුවීම ද, අතීතයේ දී සුලභව දක්නට හැකි වූ නමුත් දැනට ලංකාවේ භාවිතා වන මේස ලුණු සියල්ලම අයඩීන කෘත(Iodides salt) කර ඇති බැවින් අයඩීන් ඌණතාව බහුල වශයෙන් දක්නය නොලැබේ.

තයිරොයිඩ් හෝර්මොන පරීක්ෂා කිරීමට පරික්ෂණ ක්‍රම තුනක් යොදාගැනේ. ඒවා TSH, T4, T3  ය. T4, T3 යනු තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපද වෙන හෝර්මෝන වන අතර TSH  නිපදවනු ලබන්නේ පිටියුටරි ග්‍රන්ථියෙනි. තයිරොයිඩ් හෝර්මෝනය ශරීරයේ සමතුලිතතාව සූක්ෂ්මව පවත්වාගෙන යනු ලබන අතර සාමාන්‍ය අවස්ථා වලදී  TSH, T4, T3 යන සියළුම හෝර්මෝන සාමාන්‍ය අගයක රඳවා තබා ගනු ලැබේ.


යම් ලෙසකින් තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියා විරහිත වුවහොත් T4, T3  යන හෝර්මෝන නිෂ්පාදනය අඩුවන අතරම එහි ප්‍රතිඵලයක් ලෙස පිටියුටරි ග්‍රන්ථිය මගින් TSH හෝර්මොනය විඩිපුර ස්‍රාවය කරනු ලැබේ. ඒ නිසා තයිරොයිඩ් ඌනතාවක් ඇති රෝගීන් ගේ TSH හෝර්මෝනය ඉතා ඉහල මට්ටමක් දක්වා වැඩිවේ. නමුත් ඇතැම් අවස්ථා වලදී TSH හෝර්මෝනය ඉතා සුළු වශයෙන් වැඩිවීම දක්නට ලැබෙන අතර එවන් අවස්ථාවක ප්‍රතිකාර කළ යුතුද නැද්ද යන්න වෛද්‍යවරයෙකු විසින් තීරණය කළයුතු වේ.

යම් ලෙසකින් තයිරොයිඩ් හෝර්මෝන වැඩිවීමක දී තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩිවී T4, T3 යන හෝර්මෝන වැඩිවශයෙන් නිශ්පාදනය කෙරෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පිටියුටරි ග්‍රන්ථිය මගින් නිපදවෙන TSH හෝර්මෝනය අඩු අගයක් දක්වා පැමිණේ. එවැනි විටෙක තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිබඳ වෙනත් පරීක්ෂණ සිදුකළ යුතු අතර ඖෂධ මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රයාකාරීත්වය පාලනය කළ හැක.

ගර්භණී අවස්ථාවේදී තයිරොයිඩ් හෝර්මෝනය ඉතා වැදගත් හෝර්මෝනයකි. මෙය මවට මෙන්ම දරුවාට ද එකසේ වැදගත් වන අතර කුස තුළ වැඩෙන දරුවාගේ මොලයේ සෛල වර්ධනයට අත්‍යාවශ්‍ය හෝර්මෝනයකි. පිළිසිඳගැනීම් ආසන්නයේදී තයිරොයිඩ් හෝර්මෝන මට්ටම ඉතා ප්‍රශස්ත අගයක තිබිය යුතු බැවින් දරුඵල බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් මෙම පරීක්ෂණය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.  තවද කුඩා දරුවන් අතරද තයිරොක්සීන් ඌනතාව දැකගත හැකිය. ඒ නිසා අලුත උපන් දරුවන්ගේ ද තයිරොයිඩ් හෝර්මෝන පරීක්ෂාව ඉතා වැදගත් ය.
  • මෙම පරීක්ෂණ සිදුකරනු ලබන්නේ ශිරාගත රුධිර සාම්පලයක් ලබාගැනීමෙනි. ඒ වාගේම නිරාහාරව සිටීම හෝ වෙනත් කිසිදු අවශ්‍යතාවයකට මුහුණදීමට සිදු නොවේ.


9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. fine.Had a good knowledge about this...best of the luck dear!!

    ReplyDelete
  3. Very useful.thank you very much...!

    ReplyDelete
  4. සාමාන්‍ය ශරීරයක තිබිය යතු තයිරොයිඩ් ප්‍රමාණය කොපමණද

    ReplyDelete
  5. මාහට වසර 9 පමණ සිට මෙම රෝගී තත්වය තිබේ. එය ගැබ් ගැනීමට බාධාවක්ද? වද බවට පත්වන බව ඇත්තක් ද?

    ReplyDelete