Sunday, April 19, 2020

කොරෝනා හොයන PCR පරීක්ෂණය ගැන දැනගමු




COVID-19 සමග අප අතරට පැමිණි පරීක්ෂණයක් තමයි PCR (Polymerase Chain Reaction) පරික්ෂාව. මේ පරීක්ෂණයේ අරමුණ ලබාගත් සෙම සාම්පලයක වෛරසයේ RNA (හෝ DNA) ඇති යන්න සෙවීමයි. මෙහිදී සිදු කරන්නේ, සාම්පලයේ අඩංගු වෛරසයේ ජාන හඳුනා ගැනීමයි.

PCR කියන්නේ මොකක්ද?

පොලිමරේස් දාම ප්‍රතික්‍රියා (PCR) කියන්නේ විශේෂිත DNA (හෝ RNA) සාම්පලයක පිටපත් විශාල සංඛ්‍යාවක් වේගයෙන් සෑදීම සඳහා අණුක ජීව විද්‍යාවේ භාවිත කරන ක්‍රමයක්. කියන්නේ මේක DNA ෆොටෝ කොපි කරන ක්‍රමයක්. මේ ක්‍රමයෙන් විද්‍යාඥයින්ට ඉතා කුඩා DNA සාම්පලයක විශාල පිටපත් සංඛ්‍යාවක් සාදාගෙන විස්තරාත්මකව අධ්‍යයනය කරන්න පුළුවන්. වගේම DNA අනුවක කොටසක් පමණක් පිටපත් කරගන්නත් පුළුවන්. අපි මේක ඇහුවේ කොරෝනා වෛරසයත් එක්කම උනාට අධිකරණ වෛද්‍ය විද්‍යාවේ අපරාධකරුවන් හඳුනා ගැනීමට, වෙනත් ආසාදනයන් (SARS, HIV, ක්ෂය රෝගය ආදිය), වෛද්‍ය පරීක්ෂණ කටයුතු වලට ආදිය භාවිතා වන පරීක්ෂණයක්. කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට අද සාර්ථකව භාවිතා කරන ක්‍රමයක් තමයි මේ PCR පරීක්ෂාව.

කොහොමද මේ පරික්ෂාව කරන්නේ?

පලවෙනි පියවර තමයි සාම්පල ලබා ගැනීම. මේ සඳහා දිග cotton bud එකක් වැනි දෙයක් නාසයෙන් හෝ මුඛයෙන් ඇතුළු කර, උගුර සහ නාස් කුහරය කෙලවර ආසන්නයෙන් සෙම සාම්පලයක් ලබා ගන්නවා. මෙය කිසිසේත් වේදනාකාරී එකක් නෙවෙයි. මෙසේ ලබා ගත් සාම්පල PCR පරීක්ෂණය සඳහා රසායනාගාර වෙත යොමු කරනවා. මේ සාම්පල වල වෛරසය තිබුනේ නම් එම වෛරසයේ RNA හඳුනා ගැනීම හරහා රෝගය හඳුනා ගැනීම කරන්න පුළුවන්.

RNA සහ DNA අණු සෑම එකක්ම පවතින්නේ යුගල දෙකක හෙලික්සීය ව්‍යුහයක් විදිහටයි. පළමු පියවර මෙම හෙලික්සීය ව්‍යුහය දෙකඩ කිරීමයි. සඳහා පළමුව RNA අඩංගු මිශ්‍රණය රත් කරනවා. උෂ්ණත්වය මගින් RNA අනුවේ ඇති හයිඩ්‍රජන් බන්ධන කඩා දමනවා. මෙමගින් RNA අනුවේ පොටවල් දෙක වෙන් කර ගන්න පුළුවන්. දෙවනුව මෙම මිශ්‍රණය සිසිල් වන්නට ඉඩ හරිනවා. මේ පියවරේ දී ප්‍රයිමර්ස් (primers) හෙවත් පිටපත් කිරීමට අවශ්‍ය RNA කොටසේ දෙපැත්තටම බැඳීමට නිර්මාණය කර ඇති RNA කොටස් සහ එන්සයිම භාවිතා කර, කෘතීමව RNA අනුව පිටපත් කරනවා. ලබා ගත සාම්පලයේ වෛරසය තිබුණි නම්, ඒවා දෙගුණ තෙගුණ වෙමින් පිටපත් බිලියන ගණනක් ප්‍රයිමර්ස් වලට පිටපත් වෙනවා. එමගින් අපිට රෝගය හඳුනා ගන්න පුළුවන්.
මෙම පරීක්ෂණයෙන් රෝගය නොමැති බව පැවසු අයගෙන් 70%ක් පමණක් නීරෝගී බවයි පැවසන්නේ. නිසා රෝගියාගේ ආසාදන තත්ත්වය තීරණය කිරීමට පරීක්ෂණයේ ප්‍රතිපල මෙන් රෝගියාගේ ඉතිහාසය සහ වෙනත් රෝග විනිශ්චය තොරතුරු සමඟ වසංගත විද්‍යාත්මක තොරතුරු අවශ්‍ය වන බවයි වෛද්‍යවරු පවසන්නේ. කියන්නේ රෝගය නොමැති බවට පරීක්ෂාවෙන් ප්‍රතිපල ලැබුණු සැක සහිත පුද්ගලයන් දින කිහිපයකට පසු නැවත නැවතත් පරීක්ෂණය කරමින් රෝගය නිශ්චය කරන්න ඕනේ.


1 comment:

  1. කාලයට ගැළපෙන ප්‍රයෝජනවත් ලිපියක්. ස්තූතියි දැනුවත් කිරීමට. Keep it up. ��

    ReplyDelete